ඓතිහාසික ඇතුගල්පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි තුරු ලියෙන් ගහණ, පොල් රුප්පාවක් කේන්ද්‍ර කොට තම දූ දරුවන්ගේ නැණස පාදනු වස් එක් සිප් ශාලාවක ඇරඹි “මලියදේව ආදර්ශය” නමින් දොරට වැඩි 44 වසක් වැනි ඉතා කෙටි කලකින් දිවයිනේ ජනප්‍රිය කීර්තිමත් පාසල් අතරට එක්වූ මලියදේව ආදර්ශ විදු මාතාව සිය ජීවන මගේ පැමිණි මාවත මෙසේය ......
කිතු වසින් 1978 හි නවම් මස 27 වන සඳු දින වයඹ පළාතේ ඇතුගල් පුරවරයේ හි ජනතාවගේ පින් මහිමයට “මලියදේව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය” නමින් මෙම විද්‍යාලය බිහිවිය.
කුරුණෑගල නගරයට අයත් මලියදේව බාලක සහ බාලිකා යන ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් දෙක සඳහා ප්‍රාථමික පංතිවලට දරුවන් ඇතුළත් කිරීම දෙමාපියන්ට දුෂ්කර කාර්යයක් විය. එමනිසා, මෙම පාසල්වල ට දරුවන් ඇතුලත් කිරීම සඳහා ඇති තදබදය අවමකිරිමටත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ත්ව විභාගය සඳහා පෝෂක පාසලකත් අවශ්‍යතාව ඇති විය. මෙම අරමුණු ඉටු කරගැනීමට ආරම්භ කල මෙම පාසල, "මලියදේව" ලෙස නම් කිරීමට ඉහත කාරණා හේතු විය.
මෙම විද්‍යාලය තැනීමට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව පුරෝගාමීව කටයුතු කළේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රි දිවංගත පියදාස විජේසිංහ මැතිතුමාය. විද්‍යාලය ආරම්භ කිරීමේ මූලික පියවර ගැනීමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුට ය. එතැන් සිට මෙම විද්‍යාලයේ වුවමනාවන් හැකි තරමින් සපුරාලමින් දියුණු කිරීමට පුරෝගාමීව කටයුතු කළේ හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය දිවංගත ඩි.බි. වෙලගෙදර මැතිතුමා. 1978 දී කුරුණෑගල අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවය කළ බී.ජී.ඩි. ප්‍රනාන්දු මහතා මෙම විද්‍යාලය කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයට සමාන උසස් ගණයේ ආදර්ශ විද්‍යාලයක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් නියෝජ්‍ය ඇමතිතුමාගේ අනුග්‍රහය ලබමින් ප්‍රබල අඩිතාලමක් දැමීය.
සිසු සිසුවියන් 123 දෙනෙකුගෙන් හා සමාන්තර පංති අරලිය,ඇහැල,ඉද්ද, උපුල් නමින් ඇරඹුන මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පති වශයෙන් ටී.බී සිරිවර්ධන මහතා වැනි ක්‍රියාශීලී ප්‍රවීණ පාලකයෙකු පත් කිරීම, සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත් ප්‍රවීණ ගුරු මණ්ඩලයක් පත් කිරීම ආදිය කාලෝචිත ප්රඥාගෝචර ආරම්භක පියවරක් වශයෙන් අගය කළ හැක. මෙම ශක්තිමත් අඩිතාලම මත වර්තමානයේ ඉතා ජනප්‍රිය පාසලක් ගොඩනැගීමේ ගෞරවය ඔවුන්ට හිමිවේ.
1978 පෙබරවාරි 28 මලියදේව ආදර්ශ විදු මෑණියන්, ශාස්ත්‍රය නමැති නිල් අඹරේ පායන පුන් සඳක් මෙන් දිලෙන්නට වන්නේ ඇගේ නිවුන් සොහොයුරිය වන් විද්‍යාලයීය බෞද්ධ සංගමය ඒ සමගම මෙලොව එළිය ලැබ කෙමෙන් වැඩී නන් අයුරින් ඇතුගල්පුරය ආලෝකමත් කළාය.
පාසල ආරම්භ කළ 1978 වර්ෂයේ ඉදිකළ පන්ති කාමර 11 හා කාර්යාල කාමරයකින් යුත් 240' x 25' ගොඩනැඟිල්ල ඉදි කිරීමෙන් පසුව නැවත ගොඩනැඟිල්ලක් ඉදි වූයේ 1981 වර්ෂයේදී ය.
එය තෙමහල් ගොඩනැඟිල්ලකි. 1986 දී එහි වැඩ අවසන් වනතුරු වාර්ෂිකව වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවට පන්තිකාමර සැපයීම ඉමහත් ගැටලුවක් විය.

දෙගුරුන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම පරිත්‍යාගයෙන් 100'x20' තාවකාලික ගොඩනැඟිල්ලක් තනා 1982 දී පංති පහක් සඳහා පාවිච්චි කළ අතර 1983 වර්ෂයේදී ද දෙගුරුන්ගේ ධන පරිත්‍යාගයෙන් 80'x20' ස්ථිර ගොඩනැඟිල්ලක් තැනීම ආරම්භ කර, 1983 අවසාන භාගයේ දී වැඩ නිමකර, 1984 දී පාවිච්චියට ගත හැකි විය.

1981 ඉදිකිරීම ආරම්භ කළ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත වූයේ 1986 ජූනි 17 වනදාය. එහෙත් පන්ති කාමර හිගය තව දුරටත් ඇති නිසා පන්ති කාමර සදහා තාවකාලික මඩු සකස් විය. එතැන් සිට ක්‍රමයෙන් පාසලේ ස්ථිර ගොඩනැඟිලි ඉදිවුනු අතර 2019 වසරේදී විද්‍යාලයේ ප්‍රථම ගොඩනැඟිල්ල ඉවත් කර එම ස්ථානයේ නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකරන ලදී. වර්තමානයේ අක්කර 6 කුත් පර්චස් 26 ක භූමි භාගයක් පුරා නිසි අයුරින් පවත්නා මෙම විද්‍යාලය තෙමහල් ගොඩනැඟිලි හයක් ද දෙමහල් ගොඩනැගිලි තුනක් ඇතුළුව ගොඩනැඟිලි 17කින් හා බුදු මැදුර කින් සමන්විතය.
ලී බඩු හිගයද මෙම පාසලේ මුල් කාලයේ දී තිබූ ගැටලුවකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වරින්වර ලැබුණු ලී බඩු පාසලට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. මෙම ගැටලුව විසඳීමට පිළිසරණ වන්නේ දෙගුරුන් ය. කොළඹ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අතිරික්ත ලී බඩු තොගයක් ලබා ගැනීමට අනුග්‍රහය දැක්වූයේ එවකට ගුරු-දෙගුරු සමිතියයි. මේ හැර එකල වාර්ෂිකව 1 වසරට ඇතුලත් කරගන්නා සිසුන්ගේ දෙමව්පියන් ද ලී බඩු පාසලට පරිත්‍යාග කර ඇත.

විද්‍යාලයෙන් ප්‍රථම වරට පෙනී සිට 1982 වසර 5 ශ්‍රේණියේ සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 7 ශ්‍රේණිය ආරම්භ කිරීමෙන් “මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය” නමින් උසස් වී ඇතුගල්පුර නගරයේ ජනප්‍රිය පාසලක් බවට පත් වීම, 1982 වසර විද්‍යාලයීය ඉතිහාසයේ වැදගත් කඩඉමක් ලෙස සදහන් කළ හැක.
මලියදේව ආදර්ශ දූ පුතුන්ගේ සුවිශේෂි හැකියාවන් ඇගයීම සනිටුහන් කිරීමෙහිලා මංගල තිළිණ ප්රදානෝත්සවය 1986 ජූනි 17 වන දින හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය දිවංගත ඩි.බි. වෙලගෙදර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී විද්‍යාලයේ විශිෂ්ඨතම ශිෂ්‍යයාට හිමි රන්පදක්කම දිනාගනු ලැබුවේ යසනාත් අනුරුද්ධ බණ්ඩාර ශිෂ්‍යයයි. විශිෂ්ඨතම ශිෂ්‍යාවට හිමි රන්පදක්කම දිනාගනු ලැබුවේ අනූෂා නිල්මිණි සෙනරත් ශිෂ්‍යාවයි.

1987 වසරේ දී ප්‍රථම වරට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 91% ක විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වීම තුලින් 1988.07.06 දින විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ වීමත් සමඟ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය නමින් 1AB විද්‍යාලයක් බවට පත්වීමේ වරම ලැබුණි. ගණිත, කලා, වාණිජ, විද්‍යා විෂය ධාරා සියල්ල එකවර පටන්ගත් වයඹ පළාතේ ප්‍රථම පාසල වීමේ ගෞරවය විද්‍යාලයට හිමි වීම වැදගත් සිද්ධියකි.
පාසල් විෂය ධාරාවට පරිබාහිරව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන විවිධ ක්‍රියාකාරකම් සංඛ්‍යාව බොහෝය. වාර්ෂික ආගමික වැඩසටහන් වලට අමතරව සෑම පසළොස්වක පොහොය දිනකම ආසන්න දිනයේ පවත්වන විවිධ වැඩසටහන් හා සෑම දිනකම පවත්වනු ලබන බුද්ධ පූජා වැඩසටහන් වලට පමණක් සීමා නොවී ඇදහිලි සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් බෞද්ධ දර්ශනය තම එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සඳහා දරුවන් හුරු කරවීම තුළින් පරිසර හිතකාමී මානව හිතවාදී සිසු පරපුරක් බිහි කිරීමේ අභිලාෂයෙන් විද්‍යාලය නිරන්තරයෙන් කටයුතු කරයි.
1980 වසරේ දී චිත්‍රා ෆාන්සේකා මහත්මියගේ පුරෝගාමිත්වයෙන් “කුඩා මිතුරී” හා “පෝතක බාලදක්ෂ” කණ්ඩායම් බිහිවිය. 
1985 වර්ෂයේදී ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වමින් ආරම්භ වූ ක්‍රීඩා අංශය විද්‍යාලයේ ඉතිහාසය තුළ හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මලල ක්‍රීඩා හා හා අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩා තුළින් ද ජයග්‍රහණය හේතුවෙන් මලියදේව ආදර්ශ මහා විද්‍යාලය වඩ වඩාත් කීර්තිමත් විය. විද්‍යාලයේ ප්‍රථමයෙන් අරඹන ලද කණ්ඩායම් ක්‍රීඩාව ක්‍රිකට්ය. ප්‍රථම ක්‍රිකට් පුහුණුකරු වූ එෆ්.බි. යටවර මහතාගේ උපදේශකත්වයෙන් 1985 දී 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආරම්භ විය. අනුරුද්ධ බණ්ඩාර ප්‍රථම ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.

1994 දී සුමිත් ප්‍රියන්ත ද සිල්වා ගේ නායකත්වය යටතේ 17න් පහළ කණ්ඩායම ද 1999 දී චතුර සංජීව සේරසිංහගේ නායකත්වයෙන් 13 න් පහළ කණ්ඩායම ද ආරම්භ විය. සි.කේ. වනිගරත්න මහතාගේ උපදේශකත්වයෙන් 1987දී වොලිබෝල් ක්‍රීඩාව ඇරඹීය.
චාන්දනී රුද්‍රිගු මහත්මියගේ මූලිකත්වයෙන් 1987 වර්ෂයේදී විද්‍යාලයේ දැල්පන්දු ක්‍රීඩාව ඇරැඹීය.
1990 වර්ෂයේ දී එෆ්.බි. එදිරිසිංහ මහතාගේ මූලිකත්වයෙන් පාපන්දු ක්‍රීඩාව අරඹන ලදී. ප්‍රථම පුහුණුකරු ලෙස ඒ.එස්. බාලසූරිය මහතාගේ මූලිකත්වයෙන් 1990 දී රග්බි පාපන්දු ක්‍රීඩාව ආරම්භ විය. සි.බී හේරත් මහතාගේ මූලිකත්වයෙන් 1992 වර්ෂයේ දී හොකී ක්‍රීඩාව ආරම්භ කරන ලදී. එවකට ඛණ්ඩ භාර ආචාර්යවරයා වන දෙවන ලුතිනන් නිහාල් ජයකොඩි මහත්මා යටතේ 1993 වසරේ දී ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය බිහිවිය. චන්දන කරුණාරත්න ප්‍රථම සැරයන් වරයා විය. 1994 දී බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය බිහිවිය. චමරි විජේසිංහ ප්‍රථම සැරයන්වරිය විය.
උපදේශක ආර්.ඩී.ඩී.එස්. පල්ලේවෙල මහතා යටතේ 1997 නොවැම්බර් මාසයේදී විද්‍යාලයේ ප්‍රථම උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශන සේවාව
ආරම්භ විය. විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශය 2000 මාර්තු 17 දින ආරම්භ විය. ප්‍රථම තොරතුරු තාක්ෂණ ගුරුවරයා එම්.බි. පිරිස් මහතාය.
අධ්‍යාපනය වූ කලී සෑම දරුවකුටම ලැබිය යුතු දෙයකි. නවීන අධ්‍යාපන ක්‍රමය යටතේ නිසි ඵල ලබා ගැනීමට අපහසුතා සහිත දරුවන් ද විශේෂිත ඉගැන්වීමේ අවස්ථාවට යොමු කළ යුතු බව පිළිගත් කරුණකි. ආබාධ තත්ත්වයන් තිබුණු නමුත් ඔවුන් තුළ සැඟවුණු දක්ෂතා බොහෝය. එවන් දක්ෂතා ඇති දරුවන් අගයමින් මේ සමාජ ධාරාව තුළ හිමි තැන ලබා දීමට ප්‍රාථමික අංශයේ විශේෂ අධ්‍යාපන ඒකකය ප්‍රදේශයටම මහත් අස්වැසිල්ලකි.
විද්‍යාලයේ සේවය කළ සියලු විදුහල්පතිවරුන් පාසලට කරන ලද අති විශිෂ්ඨ සේවය ඉතා අගනේය. ඇතුගල් පුරවරයේ කීර්තිමත් පාසල් අතර අභිමානවත් නමක් තැබීමට මලියදේව ආදර්ශ විද්‍යාලයට හැකිව ඇත්තේ වත්මන් විදුහල්පති ඇතුලු පාසලේ සේවය කළ සියලු විදුහල්පතිවරුන්ගේ කැපවීම නිසාය. වත්මන් විදුහල්පතිතුමා සිසු දරු දැරියන්ගේ විභව ශක්තීන් හා විවිධත්වයන් හඳුනාගෙන දැනුම, කුසලතා, ආකල්ප හා සාරධර්ම වලින් පිරිපුන් අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ගුණාත්මක බවින් යුතු පුරවැසියන් බිහි කරලීමට අවස්ථාව සම්පාදනය කිරීමේ උතුම් මෙහෙවර පෙරදැරි කරගත් අභිලාශයෙන් යුතුව පිළියෙළ කොට ඇති ඉදිරි සංවර්ධන වැඩ සැලැස්ම ගුරුමණ්ඩලයේත් දෙගුරුන් හා ආදි සිසුන්ගේ සහාය නොමඳව ලබා ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටි. 2018 වසරේ දී විද්‍යාලය විසින් බස්රථයක් මිලදී ගැනීම ද විද්‍යාලය ලද ජයග්‍රහණයකි.

සිසුන් සංඛ්‍යාව අධික බැවින්ද පාසල තුළ ක්‍රියාත්මක වන විවිධ ක්‍රියාකාරකම් මනාව හසුරුවා ගැනීමට රුකුලක් වන හෙයින්ද පරිපාලන, අධ්‍යාපන සංවර්ධනය, ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් යන අංශ තුන නියෝජ්‍ය විදුහල්පතිවරුන් මගින් ක්‍රියාත්මක වේ. ඒ අතරට ප්‍රාථමික අංශය අංශය, 6-8 අංශය, 9-11 අංශය, උසස් පෙළ කලා අංශය, උසස් පෙළ වාණිජ අංශය හා උසස් පෙළ විද්‍යා අංශය යන අංශ සහකාර විදුහල්පතිවරුන් යටතේ පාලනය වේ.
එළඹෙන අභියෝගයන් ජයගැනීමට නව අධ්‍යාපන සංකල්ප තුළින් දරුවන්ට නැණ ලබා දී විවිධ කුසලතා තුළින් පන්නරය ලබා දෙමින් යහපත් ආකල්ප වර්ධනය කිරීමට විද්‍යාලයීය 171ක් පමණ වන ආචාර්ය මණ්ඩලය දරන වෙහෙස ප්‍රශංසනීය වේ. 14 දෙනෙකුගෙන් යුත් අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහයෝගය ද ඉතා අගනේය.
3600ක් පමණ වන විද්‍යාලයීය ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ඉතා ප්රශංසණියය. නායකත්වය දැරීම, වගකීම භාරගැනීම, යුතුකම් ඉටු කිරීම ආදිය අතින් ඔවුන් ආදර්ශමත් වේ. ඔවුන් හික්මුණු කීකරු පිරිසක් වේ. 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය, අ.පො.ස උසස් පෙළ විභාගය යන විභාග වලින් විශිෂ්ඨ ප්‍රථිපල ලබා ගනීමින් හා සියලු විෂය සමගාමි ක්‍රියාකාරකම් වලින් ජාතික/ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගනිමින් තම විදුහල් මාතාවට කීර්තියක් අත්කර දෙමින් අනෙක් සියලු උසස් පාසල් අභිබවා ඉදිරියට යාමට තරම් ඔවුන් දක්ෂ දරුවන් වෙති.

තිබූ සුලු වත්කමෙන් මහත්සේ පෝෂණය කරවා නැණස වැඩවූ මලියදේව ආදර්ශ මෑණියන්ට කෘත ගුණ සලකනු වස්, සිය සෙවනේ සිට සමාජයට මුදා හල ආදර්ශමත් ආදි සිසුන් 2019.11.29 දින පරිත්‍යාග කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක විද්‍යාගාරය, විද්‍යාලය නවීන තාක්ෂණයට අවතීර්ණ විමේ හැරවුම් ලක්ෂයක් විය. මෙම පරිගණක විද්‍යාගාරය විද්‍යාලයට ආලෝකයකි. සත්‍ය වශයෙන්ම මෙම විද්‍යාලයේ සිසුන් ආදර්ශමත් බව සමාජයට මෙයින් ඔප්පු කර හමාරය. විද්‍යාලයේ මේ දක්වා ප්‍රගතිය පිටුපස ඇති දැවැන්ත හස්තය ආදි ශිෂ්‍ය සංගමයයි. පාසලේ භෞතික සම්පත් ගොඩනැංවීමට, සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික සංවර්ධනයට නිරන්තරයෙන්ම ආදි ශිෂ්‍ය සංගම ලැබෙන සහයෝගය ඉතා ප්රබලය.
පාසලේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිරි ගන්වන්නේ පාසලේ සංවර්ධන සමිතියයි. එය ඉතාමත් ක්‍රියාශීලී පාසල ගැන ඇල්මක් ඇති පාසලේ දියුණුව ගැන සැමවිටම ප්‍රාර්ථනා කරන ගුරුවරුන් දිරිමත් කරන සමිතියකි. මෙම සමිතිය මගින් පාසලේ භෞතික සම්පත් පෝෂණයට දී ඇති රුකුල කුරුණෑගල අධ්‍යාපන කලාපය තුළ වෙනත් කිසිම පාසලකට නොලැබී ඇත. ඇරඹූ දා සිටම අද දක්වාම දෙමුව්පියන් පාසල වෙනුවෙන් ශ්‍රමය හා ධනය නොමසුරුව පරිත්‍යාග කර ඇත. ඔවුන්ගේ දහඩියෙන් නොතෙමුන එකම බිම් අඟලක්ම පාසල් භූමිය තුළ නොමැති තරම්ය. මඩ වගුරක්ව තිබූ භූමිය ගොඩකිරීම ක්‍රීඩා පිටිය සකස් කිරීම තාවකාලික හා ස්ථිර ගොඩනැගිලි තැනීම ආදිය සඳහා ඔවුන්ගේ ශ්‍රමය වැය කර ඇත. ඔවුන්ගේ ධන පරිත්‍යාගය මෙයට නොදෙවෙනිය.

1978 දී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස බිහි වී අභියෝගාත්මක ගමනක් ආරම්භ කළ සැබවින්ම පුණ්‍යවන්ත වූ මලියදේව ආදර්ශ මහා විද්‍යාලය ක්‍රමයෙන් හැදී වැඩී නිහඩව පියවරෙන් පියවර දියුණු වී වයඹ ජනතාවට ආදර්ශයක් වෙමින් දක්ෂ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥයන්, ගුරුවරුන්, පරිගණක ක්ෂ්‍රේත්‍ර යේ ප්‍රවීනයන් වැනි නොයෙකුත් වෘත්තිකයන් බිහිකරමින් දෙස් විදෙස් හි පතලව ඇත්තේ විද්‍යාලයීය සම්ප්රදාය තුළින් “මලියදේව ආදර්ශ” යන අනන්‍යතාවය ඇති විනීත පුරවැසියන් ජාතියට දායාද කරමිනි.
|
ආරම්භ කළ වර්ෂය |
1978 පෙබරවාරි 27 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
07 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
123 |
|
මුල් ගුරුතුමාගේ නම |
ටි.බි. සිරිවර්ධන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ටි.බි. සිරිවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ටි.බි. සිරිවර්ධන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1978 පෙබරවාරි 27 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කොළඹ පාර, කුරුණෑගල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
රවීන් මංජුල ගුණවර්ධන |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
චින්තා හේමමාලි වනිසේකර |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1978 පෙබරවාරි 27 දින |